Ceylon Teachers Union - Press Conference 2020.11.21 (Part 3)

Ceylon Teachers Union - Press Conference 2020.11.21 (Part 2)

Ceylon Teachers Union - Press Conference 2020.11.2

විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගනු



මාධ්‍ය නිවේදනයයි
මෙවර අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉතිහාසයේ හොඳම ප්‍රශ්න පත්‍රය බව විශේෂඥයන් පවසන්නේ යයි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

මෙම අධ්‍යාපන ඇමතිවරයා ම පසුගිය 10දා පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීම සඳහා කරුණු 5ක් යටතේ වාර්තාවක් ලබා දෙන්නැයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන් බවයි. 

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ දිගු කලක් නියැලී සිටි ප්‍රධාන පාලක පරීක්ෂක මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම, නව පාලක පරීක්ෂකවරයකු පත් කිරීම හා ප්‍රශ්න පත්‍රවල දෝෂ පිළිබඳව ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි කිරීම් මෙම වාර්තාවෙන් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබිණි.
එම වාර්තාව ලබා ගැනීමටත් පෙර ම ප්‍රශ්න පත්‍රය ඉතා හොඳ එකක් බවට ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරද්දී විභාග කොමසාරිස්වරයා ද මීට පෙර මාධ්‍යයට පැවසුවේ උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් නොමැති බවයි. 

ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා තිබෙන්නේ මෙවැනි පූර්ව විනිශ්චයන් මත පිහිටා කටයුතු කරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වීම අතිශය කණගාටුදායක ය. ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නො කරන බව හා වාර්තාව ලබා දෙනු ඇත්තේ සිය වැරදි වසාගෙන නිදොස් වීම සඳහා බව මෙම ප්‍රකාශවලින් ඉතා පැහැදිලි ය. 

එබැවින් මෙම නිලධාරීන් විසින් සැකසීමට යන වාර්තාව වෙනුවට විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද, ප්‍රශ්නයට මුහුණ දී සිටින සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් නැවතත් ඉල්ලා සිටිමු.  

ජෝසප් ස්ටාලින්
ලේකම්, ලංකා ගුරු සංගමය

බියගැන්වීම් නවතා සිසුන්ට සහන සලසන්න



පුවත්පත් නිවේදනයයි
ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසීමාවේ එම විභාග අනවශ්‍ය ලෙස විවේචනය කිරීම වැළැක්‌වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමටත්, පාසල් විභාග කඩාකප්පල් කිරීම සඳහා හිතාමතා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව විභාග පනත අනුව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තාවක්‌ විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාරගෙන් ලබා ගැනීමටත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කටයුතු කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. 

ලංකා ගුරු සංගමය විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම හා සම්බන්ධ ඉසෙඩ් අගය පිළිබඳව බොරු නඩුවක් දැමූ බව අධ්‍යාපන ඇමතිවරයා පැවසූ බව ද වාර්තාවක සඳහන් විය. මෙය ඉතා බරපතල අන්දමින් සත්‍යය විකෘති කිරීමක් වන අතර අධිකරණයට ද අපහාස කිරීමකි. ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද SCFR 29/ 2012  පෙත්සම විභාග කරමින් ඉසෙඩ් අගය ගණනය කිරීම වැරදි බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ද කැඳවා නව ක්‍රමවේදයක් සැකසීමට උපදෙස් දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිපුර සිසුන් 5000කට සරසවි වරම් ලැබිණි. 

මෙවැනි බියගැන්වීම් මගින් අධ්‍යාපන ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ විභාග ක්‍රියාවලියේ පවතින අඩුපාඩු පෙන්වා දීම වැළැක්වීමට ය. 

විවේචන එල්ල වන්නේ අන් කිසි කරුණක් නිසා නොව දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි විභාග නො පැවැත්වීම නිසා ය. පසුගිය දෙසැම්බරයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට වූ අතර, උද්ඝෝෂණ හේතුවෙන් සිසුන්ට සහන ලබා දීමට බලධාරීන්ට සිදු විය. 

දැන් අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ කරන්නේ බියගැන්වීම් මගින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුව යට ගැසීමටයි. එහෙත් අධ්‍යාපන ඇමතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ එය නොව ආර්ථික විද්‍යා උත්තර පත්‍ර සමීක්ෂණය ඇරඹෙන ලබන මස 14වෙනිදාට පෙර අසාධාරණයට ලක් වූ සිසුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.  

ජෝසප් ස්ටාලින්
ලේකම්
ලංකා ගුරු සංගමය

වාර්තාවක් කැඳවන මුවාවෙන් අධ්‍යාපන ඇමතිවරයා උසස් පෙල ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුව යට ගසයි



මාධ්‍ය නිවේදනයයි
වාර්තාවක් කැඳවන මුවාවෙන් අධ්‍යාපන ඇමතිවරයා උසස් පෙල ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුව යට ගසයි

මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන පාර්ශ්වයන්ට පහර දීමටත් ඔවුන් බිය ගැන්වීමටත් කටයුතු කරමින් සිටියි.

ආර්ථික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5ක මෙන් ම දෙවන ප්‍රශ්න පත්‍රයේ අනු කොටස් දෙකක දෝෂ පැවතීම මෙන් ම ප්‍රශ්න පත්‍රය විසින් සමස්ත විෂය කරුණු ආවරණය නො කිරීම හා  සමතුලිතභාවයක් නොමැති වීම ඇතුළු ගැටලු ගණනාවක් ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරුණු දක්වන ලදී.
ඒ සමගම, ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලයේ නිවේදනයක් සමග විභාග කොමසාරිස්වරයා මාධ්‍යයට පැවසුවේ ගැටලුවක් නොමැති බවයි. ඉන් පසු, අධ්‍යාපන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීම සඳහා කරුණු 5ක් යටතේ වාර්තාවක් ලබා දෙන්නැයි විභාග කොමසාරිස්වරයාට ඊයේ (10 දා) දැනුම් දුන් බව වාර්තා විය. 

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ දිගු කලක් නියැලී සිටි ප්‍රධාන පාලක පරීක්ෂක මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම, නව පාලක පරීක්ෂකවරයකු පත් කිරීම හා ප්‍රශ්න පත්‍රවල දෝෂ පිළිබඳව ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි කිරීම් මෙම වාර්තාවට ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා තිබේ. 

අධ්‍යාපන ඇමතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී මහාචාර්ය ඩැනී අතපත්තු ඉවත් කිරීම පිළිබඳ කරුණු දැක්වූ අතර මේ දිනවල මාධ්‍ය හරහා ඔහුට එරෙහිව විවිධ කරුණු දක්වමින් ද සිටියි. විභාග කොමසාරිස්වරයා ද ලහිලහියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රශ්න පත්‍රවල දෝෂ නැති බවයි. මෙවැනි තත්වයක් තුළ මොවුන් වෙතින් සාධාරණ වාර්තාවක් අපේක්ෂා කළ නො හැකි ය. එසේම, මේ වනවිට කරගෙන යමින් සිටින බුද්ධිමතුන් හා ගුරු සංගම් විවේචනය කිරීමේ ක්‍රියාවලිය නවතා වහා ම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන ලෙස අපි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු. 

මෙම නිලධාරීන් විසින් සැකසීමට යන වාර්තාව වෙනුවට විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද, ප්‍රශ්නයට මුහුණ දී සිටින සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.  

ජෝසප් ස්ටාලින්
ලේකම්, ලංකා ගුරු සංගමය