බියගැන්වීම් නවතා සිසුන්ට සහන සලසන්න



පුවත්පත් නිවේදනයයි
ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසීමාවේ එම විභාග අනවශ්‍ය ලෙස විවේචනය කිරීම වැළැක්‌වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමටත්, පාසල් විභාග කඩාකප්පල් කිරීම සඳහා හිතාමතා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව විභාග පනත අනුව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තාවක්‌ විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාරගෙන් ලබා ගැනීමටත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කටයුතු කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. 

ලංකා ගුරු සංගමය විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම හා සම්බන්ධ ඉසෙඩ් අගය පිළිබඳව බොරු නඩුවක් දැමූ බව අධ්‍යාපන ඇමතිවරයා පැවසූ බව ද වාර්තාවක සඳහන් විය. මෙය ඉතා බරපතල අන්දමින් සත්‍යය විකෘති කිරීමක් වන අතර අධිකරණයට ද අපහාස කිරීමකි. ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද SCFR 29/ 2012  පෙත්සම විභාග කරමින් ඉසෙඩ් අගය ගණනය කිරීම වැරදි බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ද කැඳවා නව ක්‍රමවේදයක් සැකසීමට උපදෙස් දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිපුර සිසුන් 5000කට සරසවි වරම් ලැබිණි. 

මෙවැනි බියගැන්වීම් මගින් අධ්‍යාපන ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ විභාග ක්‍රියාවලියේ පවතින අඩුපාඩු පෙන්වා දීම වැළැක්වීමට ය. 

විවේචන එල්ල වන්නේ අන් කිසි කරුණක් නිසා නොව දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි විභාග නො පැවැත්වීම නිසා ය. පසුගිය දෙසැම්බරයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට වූ අතර, උද්ඝෝෂණ හේතුවෙන් සිසුන්ට සහන ලබා දීමට බලධාරීන්ට සිදු විය. 

දැන් අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ කරන්නේ බියගැන්වීම් මගින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුව යට ගැසීමටයි. එහෙත් අධ්‍යාපන ඇමතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ එය නොව ආර්ථික විද්‍යා උත්තර පත්‍ර සමීක්ෂණය ඇරඹෙන ලබන මස 14වෙනිදාට පෙර අසාධාරණයට ලක් වූ සිසුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.  

ජෝසප් ස්ටාලින්
ලේකම්
ලංකා ගුරු සංගමය

0 comments:

Post a Comment